සුදු හිම වල අඳුරු පැතිකඩ​

Photo by Todd Torabi on Unsplash

ශ්‍රී ලංකාව වගේ රටක ඉපදිලා ජීවත් වෙන අපිට හිම කියන්නේ අපි අත්දකින්න ඉතාමත් කැමති දෙයක්. හිම සෙල්ලම් කරන්න​, හිමේ ඇවිදින්න වගේම හිම අතට අරන් බලන්න මටත් ලොකු ආසාවක් තිබුණා​. මන් දැන් ජීවත් වෙන Europe වල තියන​ Estonia කියන රටේ දී මට පළවෙනි වතාවට හිම අත්දකින්න ලැබෙනවා. ඉතින් මම අත්දැකපු හිම ගැන මගේ අත්දැකීම් මේ විදිහට ඔයාලා හැමෝටම කියන්න මම කැමති.

අවුරුද්දකට තියන Spring, Summer, Autumn, Winter කියන​ season හතරෙන්, Winter season එක ඉවරවෙලා මේ උදාවෙලා තියෙන්නේ Spring season එක​. ඒත් Winter එකට හිම වැටෙන එක මෙහෙ තාම ඉවර වෙලා නෑ. Winter එකට තරම්ම නැති වුනත් තාම හිම වැටෙනවා.

හිම වල මගේ පළමු අත්දැකීම ගැන කිව්වොත්, මම මේ රටට ආව පළමු දවස හිම වැටෙන දවසක්​. Airport එකෙන් එලියට එනකොට සුදු පුලුන් වැටෙනවා වගේ මගේ මුනට හිම වැටුණා​. වැටුණ ගමන් දිය වෙනවා. මම අත්ල දිග හැරලා හිම එකතු වෙන්න ඇල්ලුවා. හරියට පොඩි ළමයෙක් හිම වලට ආසාවෙ වගේ. 

හැම තැනම හරිම ලස්සනයි. හරියටම සුදු වළාකුලක් බිම වැටිලා වගේ. හැම තැනම හිම​. සමහර තැන් වල දනහිසටත් වඩා උඩට හිම​. ගෙවල් වල වහල හිමෙන් වැහිලා. මම හිම බෝනික්කෙකුත් හැදුවා.

මෙහෙ හිම වල සෙල්ලම් කරන්න ලොකු පොඩි වෙනසක් නෑ. Park වල වැඩිහිටි අය ළමයි ඔක්කොම හිම සෙල්ලම් කරනවා. සමහර ළමයින්ට තියනවා plastic snow sledge. ඒවා දැක්කම මට කොළපත මතක් වුණා. ලංකාවේ අපි කොළපතේ ඉඳගෙන ඇදගෙන ගියා වගේ මෙහෙ ළමයි ඒ plastic snow sledge වල හිමේ ඇදගෙන යනවා.

වාහන යන්න බැරි තරම් හිම පාරවල් වල වැහුණාම රජයෙන් පාරවල් වල හිම අයින් කරනවා. ඒවා පාරවල් අයිනේ තමයි ගොඩ ගහන්නේ. ඒ අවට ළමයි ඒ හිම කඳු වල කවුළු හාරගෙන එයාලට igloo හදාගන්නවා. ලොකු හිම ගෙවල් වගේ. 

Estonia වේ Tartu කියන නගරයේ ප්‍රදේශවාසින් හා නගර නිලධාරීන් එකතුවෙන් හිම නගරයක් නිර්මාණය කරලා තිබුණා. ඒ හිම නගරයේ ඔවුන් උමං මාර්ග දෙකක් සහිත හිම බලකොටුවක්, හිම මත ලිස්සන ස්ථාන පහක්, සහ සුන්දර හිම කැටයම් රාශියක් නිර්මාණය කර තිබුණා.

පාරවල් වල එකතු වෙන හිම අයින් කළත්, Estonia රජයෙන් නම් කරන නිල හිම පාරවල් හතත් තියනවා. ඒ හිම පාරවල් එසේම තියන්නේ ප්‍රදේශවාසින්ගේ පහසුව සඳහා වුනත් ඒ හිම පාරවල් නිසා එම ප්‍රදේශයට විශේෂ සංචාරක ආකර්ශනයක් එකතු වෙනවා.

ඉතින් හිම ගැන මේ හැම සුන්දර කරුණු වගේම​, හිම වල තවත් පැතිකඩක් තියනවා. මම දකින විදිහට ඒ පැතිකඩ ටිකක් අඳුරුයි.

Winter එකට තදින් හිම වැටෙන සීතල වැඩිම වෙන කාලයක් එනවා. ඒ කාලෙට අපි සීතලෙන් ආරක්‍ෂා වෙන්න ඇඳුම් අඳින්න ඕනේ. සීතල වැඩියෙන් ඇඟට වැටුනොත්, රස්නය වැඩිම වුනොත් පිච්චෙනවා වගේම සීතලටත් අපේ ඇඟ පිච්චෙනවා. ඒක ගොඩාක්ම බලපාන්නේ ජීවත් වෙන්න නිවාස නොමැති අයට​. ඒ අයට සීතලෙන් හරි හැටි ආරක්ශා වෙන්න තරම් ඇඳුම් නැති අවස්ථා වල ඔවුන් දැඩි සීතල නිසා මරනයට පවා පත්වෙන්න වුනත් පුළුවන්.

ඒ වගේම තදින් හිම වැටෙන කාලෙට පාරවල් වල වාහන ගමන් කරන්න අපහසු තත්වයක් ඇති වෙනවා. පොඩි කාලයකට වාහනය එළිමහනේ නවත්වලා තිබුනොත් වාහනය සම්පූර්ණයෙන් වැහෙනකම්ම හිම වැටිලා තියනවා.

හිම දියවෙන කාලෙට තමයි ලොකුම ප්‍රශ්නය මතුවෙන්නේ. හිම දියවෙන්න පටන් ගත්තාම පාරවල් වල හිම සම්පූර්ණෙන්ම දියවෙන්න කලින් නැවත සීතල වෙනවා. එතකොට පාරවල් වල හිම අයිස් බවට පත්වෙලා පාරවල් ලිස්සන්න පටන් ගන්නවා. ඒ තත්වය පාරවල් වල පයින් ගමන් කරන අයට වගේම වාහන වල ගමන් කරන අයටත් හරිම අපහසුයි. ඒ කාලෙට මාර්ග අනතුරු වැඩි වෙනවා.

ජිවිතේ අපිට අත්විඳින්න ලැබෙන බොහෝ දේවල් වල හොඳ පැතිකඩක් වගේම අඳුරු පැතිකඩකුත් තියනවා. අපි හැමෝම කැමති හිම වලටත් ඒක පොදුයි.