හඳයාත් දැන් දොස්තර කෙනෙක්ලු

මොන විශේෂණ පදය දැම්මත්, හඳයා කිව්ව ගමන් අපේ හිතේ ඇඳෙන්නේ ලස්සන හරක් පැටියෙක්. ඒත් දොස්තර කෙනෙක් කිව්ව ගමන් ඔබේ හිතට එන්න ඇත්තේ කවුද මේ චරිතය කියලා. ඒත් මම මේ කියන්න යන්නේ මනුස්ස චරිතයක් ගැන නම් නෙවෙයි. මිනිසුන් මොන අපරධ කළත්, ඒ හැමදේම ඉවසාගෙන මිනිසුන්ටම සේවය කරන ඒ උතුම් සත්වයා ගැනයි. ගවයා එහෙමත් නැත්නම් එළදෙනුන්. ගවයාගෙන් මිනිසුන්ට තියන ප්‍රයෝජන ගැන මම අමුතුවෙන් කියන්න යන්නේ නෑ. ඒ ගැන පොඩි ළමයින්ගේ ඉඳන් වැඩිහිටි කවුරුත් හොඳටම දන්නවා. මම මේ කියන්න යන්නේ ඒ එළදෙනුන් විසින්ම මිනිසුන්ට කරන තවත් සේවාවක් ගැනයි.
 
 
සතුන් සමඟ කාලය ගත කරන එක​, සුරතල් මසුන් දිහා බලාගෙන ඉන්න එක​, මිනිසුන්ගේ stress එක අඩු කරන බවට සාක්‍ෂි අද ලෝකේ ඕනෑතරම් හොයාගෙන තියනවා. එළුවොත් එක්ක කරන යෝගා, පූසොත් එක්ක කරන යෝගා, හාවොත් එක්ක කරන යෝගා ඒ අතර ප්‍රසිද්ධයි. ඒත් කොහොමද හඳයෙක් එක්ක හරි එළදෙනුන් එක්ක හරි යෝගා කරන්න තියනවා කිව්වොත්. ඔබට එකවරම හිතට බයක් ඇතිවෙන්න පුලුවන්. ඒක යෝගා ක්‍රමයකටත් වඩා බොහොම සරල දෙයක්. සතුන් යොදාගෙන මිනිසුන්ගේ stress release කරන්න හොඳම therapy එකක් විදිහට මෑත කාලයේ යුරෝපා රටවල් එළදෙනුන් යොදාගන්නවා. America, Netherlands වගේ රටවල් වල ඒ සඳහාම වෙන් වුන ගොවිපොළවල් තියනවා. ඔබට කැමති විදිහට එළදෙනුන්ට කෑම දෙමින්, ඔවුන්ව පිරිමදිමින් හෝ ඔවුන් සමඟ සෙල්ලම් කරමින් කාලය ගතකරන එක තමයි කරන්න තියෙන්නේ. ඒ කිසිවක් කරන්නත් බැරි නම් ඔබට ඔවුන්ට තුරුලු වෙලා සුවසේ නිදාගන්නත් පුලුවන්.

එළදෙනුන් කියන්නේ මිනිසුන්ට වඩා ශරීර උෂ්ණත්වය වැඩි ඒත් මිනිසුන්ට වඩා හද ගැස්මේ වේගය අඩු සතුන්. ඒ නිසා ඔවුන්ව තුරුලු කරගෙන ඉන්න එක ගොඩාක් සනීපයි කියලා තමයි ඒ ගොවිපොළවල් වල ගොවි මහතුන් කියන්නේ. මේ therapy එක කරගත්ත අය කියන්නේ ඒක හරියට ලොකූ soft වතුර බෝතලයක් තුරුල් කරගත්තා වගේ කියලා. ගොවි මහතුන් කියන විදිහට මේ සඳහා එළදෙනුන්ට කිසිම පෙර පුහුණුවීමක් කරන්නේ නෑ. හැබැයි හැම එළදෙනුන්ම මේ වැඩේට සුදුසුත් නෑ. මොකද සමහර එළදෙනුන් දඟයිනේ. කුඩා කාලේ සිටම ඔවුන් ගේ ගතිගුණ වලින් තමයි ඔවුන් මේ therapy එකට සුදුසුද කියලා තීරණය වෙන්නේ. ගොඩාක්ම මේ වැඩේට සුදුසු ටිකක් වයස ගිය සහ ඉවසීමෙන් ඉන්න එළදෙනුන්. ඒ කාලය මිනිසුන් සමඟම ඇස් පියාගෙන එළදෙන්නුත් relax වෙනවලු.

මෙතෙක් කාලයක් පස්ගෝ රස දෙමින් ගෙදර දොරේ වැඩපළට උදව් කරමින් හිටිය හඳයා ඔන්න දැන් දොස්තර කෙනෙකුත් වෙලා.

Sources: BBC Reel