රහස් රෝහල​

දෙවන ලෝක යුද්ධ කාලේ සිදුවුන බොහෝ භයානක, කුරිරු සිදුවීම් අතර මේ රෝහල අපිට කියන්නෙ ධෛර්යය​, මනුෂ්‍යත්වය සහ සහයෝගීතාවය ගැන කතාවක්. මේ රෝහලේ නම Franja Partisan Hospital. මේක තියෙන්නේ බටහිර Slovenia වේ Cerkno වල පහසුවෙන් ලඟාවිය නොහැකි දුර බැහැර කැලෑ ප්‍රදේශයක. ජිනීවා සම්මුතියේ ගිවිසුම්, සතුරු හමුදාවන් විසින් නොසලකා හරින නිසා යුද්ධයේදී තුවාල ලැබූවන් ආරක්‍ෂා කරන්න තමයි මේ රෝහල ඉදිකෙරෙන්නේ.
 

මේ රෝහල ඉදිකරන්න මූලික වෙලා තියෙන්නේ Franja කියලා Partisan වෛද්‍යවරියක්. ඒ කාලේ රෝහල් වලට තිබුණ ලොකුම ප්‍රශ්නය තමන්ගේ රෝහල රහසිගතව පවත්වාගෙන යාමයි. මේ Franja කියන Partisan වෛද්‍යවරියත් මුලින්ම මේ රෝහල පවත්වාගෙන ගිහින් තියෙන්නේ භූගතවයි. දෙවන ලෝක යුද්ධයේදී තුවාල ලැබූ විවිධ ජාතීන්ට අයිති විවිධ රටවල අයට මෙම රෝහලේ රහසිගතව ප්‍රතිකාර කරලා තියනවා.
 
බොහෝ වේලාවට තුවාල ලැබූවන් රෝහල වෙත ගෙනැවිත් තිබෙන්නේ රාත්‍රී කාලයෙයි. එහිදිත් ඔවුන් විසින් සතුරු හමුදාවල් මඟහරින්න විවිධ උපක්‍රම භාවිතා කරලා තියනවා. තුවාලකරුවන් වතුර පාරවල් හරහා ගෙනත් තියනවා, එන පාරෙ සලකුණක් ඉතුරු වුනොත් ඒක ඉක්මණින් මකාදාලා තියනවා, රෝහලට යන පාර වැහෙන්න විවිධ පැළ හිටවලා තියනවා. සතුරු හමුදාවන් දෙපාරක්ම රෝහල අසලටම ආවත් ඔවුන්ට රෝහල හොයාගන්න හම්බෙලා නෑ. ගල් කඳු මුදුන්වල තිබුන ගුහාවල ඉදන් රෝහලේ ආරක්‍ෂකයින් සතුරු හමුදාවන් කැලයට ඇතුල්වෙද්දී ඒ ගැන රෝහලට දැනුම් දුන්නාම​, රෝගීන්ව මෙම ගුහා වලට රැගෙන යනවා. සතුරු හමුදාවල් කැලයෙන් පිටවුනාම නැවත රෝගීන්ව රෝහලට රැගෙන යන්වා. එක් අවස්ථාවකදී සතුරු හමුදාවන්ගෙන් රෝහල අරක්‍ෂා කරගන්න විශාල දුමකින් රෝහල වැසෙන විදිහට ඔවුන් විසින් ගින්නක් පවා ගසා තියනවා.

මේ රෝහල මේ ආකාරයෙන් රහසක් විදිහට තියාගන්න ප්‍රදේශවාසින්ගෙන් විශාල සහයක් ලැබී තියෙනවා. යුද්ධය අවසාන වෙනතුරුම රහසක් විදිහට පැවතුන මේ රෝහල අද ජාතික වැදගත්කමක් ඇති කෞතුකාගාරයක් බවට පත්කරලා තියනවා.

Sources: BBC Reel