ණයක් අරගෙන දියුණු වෙන හැටි


ණය කියන්නේ  සමහර අය ගන්න බය වෙන​, එත් සමහර අය බය නැතුව ගන්න, හොඳයිද නරකයිද කියලා තේරුම් ගන්න අමාරු දෙයක්. ණය ගැනීම සමහර වේලාවට ඔබේ ඉතුරු කිරීම් වලට උදව්වක් වෙන්න පුලුවන්. ඒ වගේම අනික් පැත්තට ණයට පුලුවන් ඔබේ ඉතුරු කිරීමේ හැකියාව අඩු කරන්න වගේම, මුදල් අතින් ඔබට හුඟාක් කරදර ගෙන්නත්. ඇත්තටම ණය කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා තීරණය වෙන්නේ, එය ඔබ භාවිතා කරන ආකාරය අනුවයි.
 
අද ලෝකේ ඕනෑතරම් Financial advisors ලා හොඳ ණය මොනාද​, නරක ණය මොනාද කියලා පෙන්නලා තියනවා. ඒ අනුව හොඳ ණය වෙන්නේ ඔබේ ආදායම් වැඩි කරන​, ඒ මගින් ඔබේ ඉතුරු කිරීම් වැඩි කරගන්න පුලුවන් විදිහේ ණය වර්ග​. උදාහරණ විදිහට, ගෙවල් මිලදී ගැනීම සඳහා ගන්න ණය​​(mortgage), ව්‍යාපාරයක් දියුණු කරන්න ගන්න ණය​, අලුතින් දෙයක් ඉගෙන ගන්න ලබාගන්න ණය​ හඳුන්වන්න පුලුවන්. නරක ණය කියන්නේ වටිනාකම එන්න එන්න අඩු වෙන දේවල් මිලදී ගන්න ලබාගන්න ණය සහ ඉහළ පොලී අනුපාතයක් දරණ ඕනෑම ණය වර්ගයි. උදාහරණ විදිහට, luxury වාහන, ගෘහ භාන්ඩ​, TV, jewellery වගේ දේවල් මිලදී ගන්න වෙන ණය​, පොලියට මුදල් ගැනීම​, ඉහල පොලී අනුපාත සහිත credit card භාවිතය වගේ දේවල්.

ඒත් ඇත්තටම හොඳ ණය ගන්න එකෙන් අපිට හොඳක් වෙනවද​?

හොඳ ණයක් වුනත්, ඒ ණය තමන්ට දැරිය නොහැකි නම් එයින් සිදුවන හානිය නරක ණයකින් සිදුවන හානියට වඩා වැඩි වෙන්න පුලුවන්. නරක ණයක් වුනත් එය කෙටි කාලයකින් අවම ණය පොලියක් යටතේ ගෙවලා ඉවර​ කරනවා නම් එයින් ලැබෙන වාසිය හොඳ ණයකින් ලැබෙන ලාභයට වඩා වැඩි වෙන්නත් පුලුවන්.​
 
මේ ගැන තවත් පැහැදිලි වෙන්න උදාහරණයක් විදිහට ගෙවල් මිලදී ගැනීම සඳහා ගන්න ණය​ ගමු. ගෙවල් මිලදී ගැනීම සඳහා ගන්න ණය​ ඇත්තටම හොඳ ණය වර්ගයක්. ඔබ ඒ  ගෙදරම​ පදිංචි වී ඉන්නවා නම් ඔබට වෙන ගෙවල් සඳහා කුලී ගෙවන්න අවශ්‍ය වෙන්නේ නෑ, එන්න එන්න ගෙවල් වල මිල ගනනුත් වැඩි වෙනවා, ගෙදරට​ ගෙවන ණය මුදල ඉවර වුනාම ඒ ගෙදර අයිතියත් ඔබටමයි. එය ඔබට වෙන ඉතුරුවක්. ඒත්, ඒ ගෙදර ණය වාරික ඔබගේ income එකත් එක්ක ගෙවාගන්න අමරු තරම් වැඩී නම්, ඔබගේ අනෙක් වියදම් වලට ඔබට ආයෙමත් ණය වෙන්න වෙනවා. ඒක ඔබට වෙන හානියක්. ඉගෙනීම් වලට ගන්න ණයත් හොඳ ණයක්. මොකද අලුතින් දේවල් ඉගෙන ගත්තම ඔබට ලැබෙන දැනුම වටිනවා. ඔබට ඒක පවිච්චි කරලා job එකේ salary වැඩි කරගන්න වුනත් පුලුවන්. ඒත්, ඔබ ජීවිතේ වැඩි කාලයක් ඒ ණය ගෙවමින් හිටියොත් ඔබට ගෙයක් මිලදී ගන්න එක, retirement එකට සල්ලි ඉතුරු කරගන්න එක මඟහැරෙන්න පුලුවන්.
 
මේ විදිහටම අනෙක් පැත්තට වාහන ණයක් ගත්තොත්, වාහන ණය කියන්නේ නරක ණය ගොඩට අයිති ණයක්. ඔබ වාහනය පාවිච්චි කරන්න ගන්න පළවෙනි දවසේ සිටම ඔබේ වාහනයේ වටිනාකම අඩු වෙනවා. ඒත්, වාහනයක් පාවිච්චි කරද්දී ඔබගේ ගමන් බිමන් පහසු වෙනවා, job එකට නියම වේලාවට යන්න පුලුවන් වෙනවා, ඔබේ වාසනවට වාහනේ market එක වැඩි වුනොත් ටික කාලයක් පාවිච්චි කරලා ගත්ත ගානට වඩා විකුණන්නත් පුලුවන්. එය ඔබට වෙන ලාභයක්. Credit card පාවිච්චියත් මේ වගේමයි. ඔබ නියමිත දවසට තියන ණය ප්‍රමාණය ගෙව්වේ නැත්නම් ඔබට විශාල පොලියක් ඒ ණය මුදලට එකතු වෙනවා. ඒක ඔබට වෙන හානියක්. ඒත් ඔබ නියමිත දවසටම ලංවෙලා හරි නියමිත දවසට හරි ඒ ණය ගෙව්වොත් ඔබට කිසිම අමතර මුදලක් ගෙවන්න ඕන වෙන්නේ නෑ. ඒ credit card එකෙන් ගත්ත දේත් ඔබ ඒ වෙනකොට පාවිච්චි කරන්න පුලුවන්.
 
ණයක් අරගෙන කිසිම හානියක් කරගන්නේ නැතුව දියුණු වෙන්න පුලුවන් ප්‍රධානම දේ මධ්‍යස්ථභාවය රැක ගැනීමයි. ඉතින් මේ ණය සම්බන්ධයෙන් මධ්‍යස්ථභාවය රැක ගන්නේ කොහොමද​? එහෙමත් නැත්නම හොඳ ණයක් තමන්ට දැරිය හැකි මට්ටමේ පවත්වා ගන්නේ කොහොමද​?

ඒ පිළිබඳ TD Ameritrade ආයතනයේ Senior Financial Adviser කෙනෙක් වන Robert Siuty මහතා කරුණු කීපයක් යෝජනා කරලා තියනවා.
  • ඔබේ සීමාවන් දැනගන්න​
ඔබට ගෙවීමට හැකි පමණට ණය ගන්න​. ඔබ හෝ ඔබේ සහකරු අසනීප වූවොත්, රැකියාව නොමැති වූවොත් හෝ හදිසි අනතුරකින් මිය ගියොත්, ඔබට හෝ ඔබේ සහකරුට තනිව ණය ගෙවිය හැකිද යන්න සිතා බලන්න​. ​
  • සැලැස්මක් ඇතුව මුදල් භාවිතා කරන්න​
නියමිත දිනට ණය වාරික ගෙවීමට ඔබගේ එදිනෙදා මුදල් සැලැස්මට ණය ඇතුල් කරගන්න​. අනපේක්‍ෂිත දේ සඳහා කලින් සැලසුම් කිරීමට මතක තබාගන්න​.
  • හොඳ ණය, හොඳ ණය ලෙසම තබාගන්න​.
ඔබ retirement එක​ට සූදානම් නම්, දැන්ම ඔබගේ ගිනුම් පරීක්‍ෂා කර ඒ සඳහා මුදල් ඉතුරු කරගන්න​. දැරිය හැකි ලෙස හොඳ ණය පවත්වා ගැනීමෙන් ඔබට retirement එක​ට මුදල් එකතු කරගන්න පුලුවන්. Credit card භාවිතා කළාට ප්‍රශ්ණයක් නෑ නියමිත වේලාවට ණය ගෙවනවා නම්.
  • ණය ගෙවියයුතු පිළිවෙලක් හදාගන්න​
ඔබ මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ වැඩි පොලී අනුපාත සහිත ණය ගෙවීමටයි. පසුව අඩු පොලී අනුපාත සහිත ණය සඳහා ඔබේ අවධානය යොමු කරන්න​. සමහර පුද්ගලයින් අඩු පොලී අනුපාත සහිත ණය පවත්වා ගැනීමෙන් ඉතුරු කරගන්නා මුදල්, කාලයත් සමඟ මුදලේ වටිනාකම වැඩි වන ආයෝජන මාර්ග වල ආයොජනය කිරීමෙන් අනාගතය සඳහා හොඳ ඉතුරුවක් කරගන්නවා.
  • Financial Adviser කෙනෙක්ගෙන් උපදෙස් ලබාගන්න​.
Financial Adviser කෙනෙක්ගෙන් උපදෙස් ලබාගැනීම ඔබේ දියුණුවට ගොඩාක් උපකාරි වෙන්න පුලුවන්. මොකද, ඔබගේ අවධානය මොන අතකට යොමු වුනත්, ඔවුන්ගේ රාජකාරිය ඔබව ඔබේ දියුණුව වෙත යොමු කිරීම නිසා.
 
 
මේ විදිහට හොඳ ණයක් වුනත්, නරක ණයක් වුනත් තමන්ට දැරිය හැකි මට්ටමෙන් අරන්, වේලාවට වාරික ගෙවලා හරියට, බුද්ධිමත්ව පවත්වාගෙන ගියොත් එය ඔබගේ දියුණුවට ලොකු උදව්වක් වෙවි.