ගෝනෙකු (Elk) කළ අදහාගත නොහැකි උදව්ව​..

පසුගිය දවසක එස්ටෝනියාවේ, පයිදේ (Paide, Estonia) ප්‍රදේශයේ ගෝනෙකුගේ උදව්වෙන්, වලකට වැටී අතරමන් වුණ 71 හැවිරිදි කාන්තාවක් බේරාගත්තු අපූරු සිදුවීමක් අහන්න ලැබුණා. 

පයිදේ (Paide) ප්‍රදේශයේ පදිංචිකරුවෙකු උදෑසන පාරේ ඇවිදගෙන යන විට​, නගරයට නැගෙනහිරින් පිහිටි කෘතිම විලක් අසල ගෝනෙකු (Elk) වැතිර සිටින ආකාරයක් දැක තිබෙනවා. නමුත් ඒ වන විට ඔහුට, ඒ දැක්කේ හරියටම ගෝනෙක්ද එහෙමත් නැත්නම් වලසෙක්ද යන්න තහවුරු කරගැනීමට නොහැකි වී තිබෙනවා. එය තහවුරු කරගැනීම සඳහා ඔහු විසින් එම ස්ථානයට පැමිණෙන ලෙස, ප්‍රාදේශීය ඡායාරූප ශිල්පියෙකුට පවසා තිබෙනවා. ඡායාරූප ශිල්පියා එම ස්ථානයට ලඟා වන විට කලින් ගෝනා දැකගන්න ලැබුණ ස්ථානයේ ගෝනා සිට නොමැති අතර​, ඒ ගැන සොයමින් ඉදිරියට ගිය ඔවුනට, ගෝනා වැතිර සිටි ස්ථානයට අසල පිහිටි විලේ වැටී ගොඩ ඒමට නොහැකිව සිටින කාන්තාව දැකගන්න ලැබී තිබෙනවා. මෙම සිදුවීමේ තවත් ඇදහිය නොහැකි කරුණක් නම්, එම විලේ වැටී සිටි කාන්තාව එතනට පැමිණි ඡායාරූප ශිල්පියාගේම මව වීමයි.

ඒ වන විටත්, ප්‍රදේශයේ පොලිස් ස්ථානයට, 71 හැවිරිදි කාන්තාවක්, පෙරදින උදෑසන ඇවිදින්නට පිටත්ව ගොස් ඇති බවත් ආපසු නොපැමිණි බවත් සඳහන් කරමින් ඇමතුමක් ලැබී තිබූ බව ප්‍රාදේශීය පොලිසිය තහවුරු කර තිබෙනවා.

එම කාන්තාව මුලු රැයක් පුරාවටම සීතලේ තෙත් වූ තත්වයක සිටියත්, ඇය ඇඳ සිටි ඝණකම් ජැකට්ටුව නිසා ඇයව ආරක්‍ෂා වී තිබෙනවා. ඉක්මණින් ක්‍රියාත්මක වූ ඡායාරෑප ශිල්පියා ඇයව රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙන අතර, එම ගෝනාගේ පැමිණීම​, ඔහුගේ මව බෙරාගැනීමට සිදුවූ, යම් ආකාරයක අදහාගත නොහැකි සිදුවීමක් ලෙස සිතෙන බව​ද ප්‍රකාශ කර තිබෙනවා.