අභ්‍යාවකාශයෙන්වත් කෙළවර නොවූ සිසිල් බීම තරඟය​

1984 ජූනි, Coca Cola සමාගම NASA Space center එකට නියෝජිතයෙක් යවනවා.  ඒ වසර ගනනාවක් පුරාවට​, Pepsi සමාගම හා Coca Cola සමාගම අතර පැවති Cola War එකෙන් Coca Cola සමාගම ජයග්‍රහනය කරගැනීම සඳහායි.

ඒ වන විට Pepsi සමාගමේ අලෙවිකරණ උපායමාර්ග, Coca Cola සමාගමට වඩා ඉදිරියෙන් තිබුණා. ඒ සඳහා Pepsi සමාගම, පොප් සංගීතයේ රජු වූ මයිකල් ජැක්සන් යොදාගෙන "නව පරම්පරාවක තේරීම" (The Choice of a New Generation) නමින් ප්‍රසිද්ධ වෙළඳ දැන්වීමක්ද නිර්මාණය කරලා තිබුණා. Pepsi සමාගමේ මෙම The Choice of a New Generation වෙළඳ ව්‍යාපාරය හරහා, Coca Cola වෙලඳපොලට බොහෝ ලෙස බලපෑමක් ඇති වුණා.

මෙයින් ගොඩ ඒම සඳහා, Coca Cola සමාගමට කලින් කරපු හැම දේකටම වඩා වෙනස් දෙයක් කිරීමට අවශ්‍ය වුණා. ඒ සඳහා ඔවුන් අභ්‍යවකාශය (space) තෝරාගත්තා. ඔවුන්ගේ අරමුණ වුනේ, පලමු අභ්‍යවකාශ ගත කාබනීකෘත බීම (The first carbonated drink in space) බවට Coca Cola පත්කිරීමයි. Coca Cola සමාගමෙන්  NASA ආයතනය වෙත යැවූ නියෝජිතයාට පැවරුණ රාජකාරිය වුණේ, එය යථාර්තයක් බවට පත්කර ගැනීමට NASA ආයතනය කැමති කරවා ගැනීමයි.


අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගුරුත්වාකර්‍ෂණ බලයක් නොමැති නිසා, සාමාන්‍ය බෝතල් හා කෑන් භාවිතය අපහසු හෙයින්, ඒ වන විට බීම වර්ග අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත යැවීම සඳහා පොලිතීන් බෑග් භාවිතාකර තිබෙනවා. නමුත්, සෝඩා බීම සඳහා එය සිදුකිරීම අපහසු වුණා. NASA ආයතනයේ අදහස වුනේ, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති වායුගෝලීය අඩු පීඩනය යටතේ සෝඩා බීමක් සාමාන්‍ය බීම ආකාරයෙන් අභ්‍යවකාශයට යැව්වොත් සෝඩා බීම වල ඇති ගෑස් නිසා ප්ලාස්ටික් බෑග් පුපුරලා අභ්‍යවකාශ මධ්‍යස්ථානය පුරාම සෝඩා විසිරී තියේවි යන්නයි.

නමුත් Coca Cola සමාගමේ නියෝජිතයා පැමිණ සිටියේ ඔවුන්ගේ යෝජනාවකුත් සමගයි. ඔහු NASA ආයතනය වෙත Coca Cola සමාගමේ යොජනාව ඉදිරිපත් කරමින් අසා සිටියේ, Coca Cola සමාගම විසින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ, ගුරුත්වාකර්‍ෂණයක් නොමැති තත්වය යටතේ භාවිතා කළ හැකි කෑන් එකක් හැදුවොත්, එය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවිය හැකිද යන්නයි. එවිට NASA ආයතනය පැවසුවේ, එසේ නිපදවන කෑන් එකක් NASA ආයතනයේ ආරක්‍ෂක පරීක්‍ෂණය සමත් වූවොත් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවිය හැකි බවයි.


NASA ආයතනයෙන් ලැබුණ සුභවාදී පිලිතුරත් සමග Coca Cola සමාගමෙන් හැකි ඉක්මනින් වගේම ඉතාමත් රහසිගතව, අභ්‍යාවකාශය වෙත යැවීම සඳහා කෑන් එකක් හැදීමේ කාර්‍ය ආරම්භ කළා. අවුරුද්දක පමණ කාලයක් ඇතුලත, 250,000$ ක් වැය කරමින් Coca Cola සමාගම විසින් අවසානයේ NASA ආයතනයෙන් අනුමැතිය ලැබෙන පරිදී කෑන් එකක් නිර්මාණය කළා. පසුව NASA ආයතනය විසින් එය, ඊළඟ අභ්‍යාවකාශ යානයේ, අභ්‍යාවකාශය වෙත යැවීමට කටයුතු සූදානම් කළා.

Coca Cola සමාගම කෙසේ රහසිගතව මෙම කටයුතු සූදානම් කළත්, ඒ වන විටත් Pepsi සමාගමට ඒ ගැන ඉව වැටිලයි තිබුනේ. අවසානයේ, Pepsi සමාගම විසින් 1985 අප්‍රේල්, Republican පක්‍ෂයත් සමග පැවති ඔවුන්ගේ  සම්බන්ධතාවයන් ද භාවිතා කරමින්, Coca Cola කෑන් එකක් සමගම Pepsi කෑන් එකක් අභ්‍යාවකාශයට යවන්න NASA ආයතනය කැමති කරවා ගනිමින්, Coca Cola සමාගමේ ඓතිහාසික දිනය විනාශ කර දැම්මා. පසුව Pepsi සමාගම මාස 3ක් වැනි කෙටි කාලයකින් ඔවුන්ගේ කෑන් එකක් නිර්මාණය කර, ඒ සඳහා NASA ආයතනයේ අනුමැතිය ලබාගත්තා.

1985 ජූලි 29 වන දින Coca Cola සමග Pepsi ද ප්‍රථම වරට අභ්‍යාවකාශ ගත වෙනවා. නමුත් සමාගම් දෙකටම තිබුණ ඊලඟ ප්‍රශ්නය වුනේ, අභ්‍යාවකාශයේදී මුලින්ම විවෘත වුණ Cola වර්ගය මොකද්ද කියන එකයි. Pepsi කෑන් එකට වඩා පැය 8 කට පෙර Coca Cola කෑන් එක ගගනගාමින් විසින් විවෘත කිරීමෙන්, අභ්‍යාවකාශයේදී මුලින්ම විවෘත වුණ Cola යන නාමය​​ Coca Cola සමාගමට හිමිවුණා.

එසේ කෙළවර වූ Cola සමාගම් දෙකේ අභ්‍යාවකාශ ගමනෙන් පසුව සුපුරුදු ලෙසම සමාගම් දෙක අතර තරඟය තව දුරටත් පැවතුනා. මේ අතර හැමදෙනාම බලා සිටියේ අභ්‍යාවකාශ ගතව සිටි ගගනගාමින් නැවත පොළොව වෙත පැමිණෙන දවස ගැනයි. ඒ මොන Cola එකද වඩා රසවත් කියලා ඔවුන්ගෙන් අසා දැනගන්නයි. ගගනගාමින් පොළොව වෙත පැමිණීමෙන් පසු පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදී, ඔවුන්ගෙන් ඉවරයක් නැතුව අසපු ප්‍රශ්නය වුනේ කුමන Cola වර්ගයද වඩාත් රසවත් යන්නයි. 

ඔවුන්ගේ විශිෂ්ට අභ්‍යාවකාශ ගමන ගැනවත් නැති තරම් ප්‍රශ්න මේ බීම වර්ගයක් ගැන අසන නිසා, එයින් කෝපවුණ ගගනගාමින් පැවසුවේ, මෙය රස පිලිබඳ තරඟයක් නොවන බවත්, කවුරුන් හරි එහෙම හිතනවා නම්, ඒ බීම වර්ග දෙකම සාර්ථක නොමැති බවය​. අභ්‍යාවකාශයේ ශීතකරණයක් නොමැති නිසා, බීම වර්ග දෙකම රත්වී තිබූ බවත් Coca Cola වලින් ලෝහමය රසයක් පැමිණි අතර Pepsi වල පෙන වැඩි යැයි ගගනගාමින් පවසා තිබෙනවා. විශාල මුදලක් වැයකර සෑදූ කෑන් දෙක ගැනවත් ගගනගාමින්ගෙන් පැසසුමක් නොලැබුණි. මේ හේතුවෙන් ඉදිරි ආභ්‍යාවකාශ ගමන් සඳහා සිසිල් බීම සඳහා අවසර නැති විය​.

කාලය​, මුදල්, ශ්‍රමය අපතේ යවමින් අවසානයේ අභ්‍යාවකාශ තරණයට පැවති Coca Cola සහ Pepsi තරඟය ජය පැරදුමකින් තොරව අවසන් වූ අතර සමාගම් දෙකටම ඔවුන් බලාපොරොත්තු වූ බීම අළෙවියේ වැඩිවීමක්ද සිදු නොවුණි.