සිංදු කියලා නිදහස ලබාගත්ත රටක්

අපි දන්න​, අහලා තියන හැම රටක්ම නිදහස ලබාගෙන තියෙන්නේ දිවා රෑ නැතුව සටන් කරලා. ඒත් දිවා රෑ නැතුව නිදහස වෙනුවෙන්ම ගීත ගායනා කරපු රටක් තියනවා කිව්වෝත් ඔබට හිතාගන්න පුලුවන් ද​? ඔව්, එහෙම රටක් තියන්වා. ඒ තමයි Estonia ව​. Estonia ව තියෙන්නේ උතුරු යුරෝපයේ. ඔවුන් සම්පූර්ණ නිදහස ලබන්න කලින් Soviet Union එකේ කොටසක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ.
 
 
Estonia ජාතික නිදහස ලබාගැනීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙස Estonia පැරැන්නන් විසින් ගීත ගායනා උළෙලක් ආරම්භ කරලා තියනවා. 1869 දී තමයි මේ උළෙල මුලින්ම පවත්වලා තියෙන්නේ. මේ උළෙලට ගීත ගායනයෙන් සහභාගි වෙලා තියෙන්නේ පිරිමි ගායකයින් පමණයි. ගායනා කරලා තියෙන්නේ Estonia භාෂාවේ ගීත පමණයි. එතැන් සිට සෑම අවුරුදු 5 කට සැරයක්ම, ජූලි මාසෙ සති අන්තයක පැවැත්වෙන මේ උළෙල Estonian Song Festival කියලා හඳුන්වනවා. Estonia වේ අගනගරය වන Tallinn වල මේ සඳහාම වෙන්වූ Tallinn Song Festival Ground එකේ තමයි මේ උළෙල පවත්වන්නේ. 1933 දී ප්‍රථම වතාවට කාන්තාවන් මේ උළෙලට ගීත ගායනයෙන් එකතු වෙනවා. මේක ලෝකේ ලොකුම Song Festival වලින් එකක් වගේම, මෙහිදී 25,000 කට අධික පිරිසක් සිටින ගීතිකා කණ්ඩායමක් විසින් ගීත ගායනා කරන අතර ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයෝ පිරිසක් මෙය නරඹන්න එකතු වෙනවා. අද වෙනකොට Estonia අනන්‍යතාවයේ ප්‍රධාන අංගයක් බවට මේ උළෙල පත්වෙලා තියනවා.
 
අවස්ථාවන් දෙකකදීම Estonia වට නිදහස ලබාගන්න හේතු වෙලා තියෙන්නේ මේ ගීත උළෙලයි. Estonia පැරැන්නන් ගායනය තුළින් තමන්ගේ භාෂාවේ හා සංස්කෘතික උරුමයේ වටිනාකම සොයාගත් නිස එය 1918 දී ඔවුන් ගේ නිදහසට හේතු වෙලා තියනවා. ​දෙවන ලෝක යුද්ධෙන් පස්සේ Soviet Union එක යටතේ පාලනය වන​ විට, Estonia වට ඔවුන් ගේ ජාතික අනන්‍යතාවය ජීවමානව තබා ගැනීමට උපකාර වෙලා තියෙන්නෙත් මේ ගීත උළෙලයි. 1988 දී සිය දහස් ගණනක් ජනතාව මේ උළෙල සඳහ එකතු වෙලා දිවා රෑ නොබලා නිදහස වෙනුවෙන් ගීත ගායනා කරලා තියනවා. මේ ගායන විප්ලවය සෝවියට් පාලනය අවසන් කිරීමට උපකාරී වූ අතර 1991 දී Estonia වට සම්පූර්ණ නිදහස ලැබුණා.