මුහුද මෙතැනින් ආරම්භ වේ!!!

මම දවසක් එස්ටෝනියාවේ (Estonia), ටාලින් (Tallinn) නගරය හරහා යද්දී විශේෂ වැසි ජලය බැස යන ස්ථානයක් දැක්කා. හරියට බිත්ති වල චිත්‍ර අඳින ළමයි පාරෙ චිත්‍රයක් ඇඳලා වගේ පෙනුනේ. මොනවද ලියලා තියනවා වගේ දැක්ක නිසා මම ටිකක් ලංවෙලා බැලුවා. සමාජයට හුඟක් වැදගත් පණිවිඩයක් ඒකේ සඳහන් වෙලා තිබුණා. ඒ ගැන මටත් පුලුවන් විදිහට සමාජය දැනුවත් කරන්න මම හිතුවා.

"THE SEA STARTS HERE" (මුහුද මෙතැනින් ආරම්භ වේ). ඇත්තටම කලින් අපිට එහෙම හිතුනද​? මම අදහස් කළේ, අපි හැමෝම දන්නවා ගඟාවල් වල ජලය ගලාගෙන ගිහින් මුහුදට වැටෙන බව​. ඒ මුහුදට එකතුවෙන ගඟාවල් වල ජලයෙන් කොටසක් වැසි ජලයයි. ගඟවල් වලට වැටෙන වැසි ජලය හැර, පාරවල් වලට වැටෙන ජලයෙන් කොටසකුත් මේ වැසි ජලය බසින ස්ථාන හරහා මුහුදටම ගමන් කරන බව එකවරම අපට නොසිතෙන්න පුලුවන්. ඒ වගේම, ඒ හරහා අපි පාරට විසිකරන දුම්වැටි කොට​, ටොෆී කොල​, ප්ලාස්ටික් කෑලි වගේ පරිසරය විසින් ප්‍රතික්ශේප කරන දේවලුත් අවසාන වන්නේ මුහුදෙනුයි. එය මුහුදේ ජිවත් වන ජීවීන්ට වගේම, පැළෑටි වලටත් විෂාල හානියක් සිදුකරනවා. පරිසරයට නොගැලපෙන දේවල් පරිසරයට බැහැර කිරීම මුහුදු ජීවීන්ට වගේම ගොඩබිම පරිසරයටත් දැඩි හානියක්.

දැනට යුරෝපීය රටවල් කීපයක්, "THE SEA STARTS HERE" (මුහුද මෙතැනින් ආරම්භ වේ) නමින් සිදුකරන ව්‍යාපාරය හරහා සමාජය දැනුවත් කිරීම සිදු කර ඇති අතර එමඟින් මහජනතාවගේ දැනුවත්භාවය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට හා පරිසර දූෂණය අඩු වීමට හේතු වී තියනවා. සොබාදහමට ආදරය කරන්නන් හැටියට අපිත් මේ ගැන සමාජය දැනුවත් කරලා පරිසර දූෂණය අවම කරන්න සහය වෙමු.